
ට්විටර් ආයතනය ඇමරිකානු ජනාධිපතිවරයාගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් (කනිෂ්ඨ) මත තහනමක් පනවා ඇත. මේ අනුව පැය 12ක කාලයක් ඔහුට ට්විටර් පණිවිඩ යැවීම තහනම් කර තිබිණි. ට්විටර් ආයතනය මේ ආකාරයේ පියවරක් ගෙන ඇත්තේ ඔහු තම ට්විටර් ගිණුමට එක් කර තිබූ විඩියෝවක් නිසාය. මෙම විඩියෝව මතභේදයට ලක් වූ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් නමැති ඖෂධයේ ගුණ පිළිබඳ සාකච්ඡා කරන්නක් බව පැවසේ.
මැලේරියාව සඳහා භාවිත කළ ඖෂධයක් වන මෙය කොවිඩ්-19ට ප්‍රතිකාරයක් ලෙස ද භාවිත කළ හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇතැම් පාර්ශ්වවල අදහසයි. නමුත් වෛද්‍ය විශේෂඥයන් වැඩි දෙනකු ඊට එකඟ නැත. මෙම ඖෂධය නිසා හෘද රෝග ඇතුළු අතුරු ආබාධ ඇතිවිය හැකි බව හෙළි වීම නිසා කොවිඩ්-19 සඳහා එය භාවිත නොකිරීමට නිල වශයෙන් නිර්දේශ කරනු ලැබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් (කනිෂ්ඨ) මෙම ඖෂධයේ ගුණ පිළිබඳ වීඩියෝවක් පළ කර ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.
මෙම වීඩියෝව කොවිඩ්-19 පිළිබඳ වැරදි තොරතුරු බෙදා හරින්නක් ලෙස සැලකීම නිසා ඉහත කී තහනම පැන වූ බැව් ට්විටර් ආයතනය පැහැදිලි කර තිබේ.