පක්ෂ නායකයන් තුන් දෙනෙක්කොළඹ සටනේ්

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කය ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික්කයේ 2019 ජනාධිපතිවරණයට අනුව සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව 1670403කි.

1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා දින 19 ක් පුරා පවත්වන ලද අපේ රටේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ 310799 කි. එදා සිට මේ දක්වා අවුරුදු 73 ක් තුළ කොළඹ ලියාපදිංචි ඡන්ද සංඛයාව 1359604 කින් වැඩි වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය අවිස්සාවේල්ල, බොරැල්ල, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, උතුරු කොළඹ, බටහිර කොළඹ, දෙහිවල, හෝමාගම, කඩුවෙල, කැස්බෑව, කොලොන්නාව,කෝට්ටේ, මහරගම, මොරටුව සහ රත්මලාන යන මැතිවරණ කොට්ඨාස 15 න් සමන්විතය. 2004 මහ මැතිවරණයේදී කොළඹට මන්ත්‍රී ආසන 20 ක් හිමි වූ අතර 2010 සහ 2015 මැතිවරණවලදී හිමිවූයේ ආසන 19කි.

මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 කින් සහ ස්වාධීන කණ්ඩායම් 26 කින් අපේක්ෂකයන් 924 ක් ඉදිරිපත් වෙති.

එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අපේක්ෂකයන් විසි දෙදෙනා අතුරින් 18ක් මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අයවේ. සුපුරුදු පරිදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවි කරුණානායක කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර පසුගිය පාර්ලිමේන්තුවේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ දයා ගමගේ මෙවර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කිරීම විශේෂත්වයකි. 1989 සිට 94 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ සුනේත්‍රා රණසිංහ යළිදු වරක් එජාපයෙන් තරග කරන්නීය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ කොළඹට තරග කරන එජාප කණ්ඩායමේ සෙසු අපේක්ෂකයන් වන්නේ මොහොමඩ් ෂෙරිෆ් ෆයිරූස්, ෂන්මුගනාදන් කුහවර්ධන්, අජන්තා පෙරේරා, චන්දිම විජේගුණවර්ධන, ජිනසිරී දඩල්ලගේ, ටයිටස් පෙරේරා, බිනර ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසූරිය, සුදත් අජිත ජයසුන්දර, උපුල්සිරි වීරසිංහ, රුවන් ලියනගුණවර්ධන, අමල් නිශාන්ත පුස්සැල්ලගේ, සුසිල් කිදෙල්පිටිය, ජෙරාන් ජෙගදීසන්,උදාර රත්නායක, ඕෂල ලක්මාල් හේරත් සහ ෂනූස් හිලිර් මොහොමඩ්ය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරනු ලබයි. ඒ අනූව නවකයන් ලෙස පාර්ලිමේන්තුවට තරග කරන 13 දෙනෙක් මෙවර එම පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ සිටිති. 2010 සිට 2015 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරද මෙවර තරග කරන්නේද කොළඹ දිස්ත්‍රික්කයටය. ඒ අනුව මින්පෙර අවස්ථා දෙකකදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රධාන පක්ෂ දෙකේ දෙදෙනෙක් මෙවර කොළඹට තරග කිරීම විශේෂ සිදුවීමකි. එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමද විශේෂත්වයකි.

දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල, ජගත් කුමාර, ජනක රණවක, ධනසිරී අමරතුංග, ප්‍රදීප් සමන් කුමාර, රවින්ද්‍ර ශිරාන් ජයසිංහ, සමන්ලාල් ප්‍රනාන්දු, මධුර විතානගේ, කාන්ති කොඩිකාර, අජිත් රොහාන් සුබසිංහ, අමල් සිල්වා, ප්‍රේමනාත් සී. දොලවත්ත, අනුර ප්‍රනාන්දු සහ මහේෂ් අල්මේදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සෙසු අපේක්ෂකයෝ වෙති.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ කොළඹ අට දෙනෙක් මෙවර සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කරති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වූ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා වෙමින් මෙවර කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමටද නායකත්වය ලබාදේ. පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂද සිල්වා, කණිෂ්ක සේනානායක, එස්.එම්. මරික්කාර්, ඒ.එච්.එම්.ෆවුසි, මුජිබර් රහුමාන් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද, නිරෝෂන් පාදුක්ක, ලෙනාඩ් කරුණාරත්න, කේ.වයි.පී. රාම්, ජයන්තද සිල්වා, එරන්ද වැලිඅංගගේ, මහේෂ් ජෙහාන් විජයරත්න, අනුරාධ විමලරත්න, සාගර සේනාරත්න, චන්න විකුම්, ජේ. විනයාගමූර්ති, රජිත ලලිත් කොඩිතුවක්කූ, අතුලසිරි රණගල සමග ජන බලවේගයේ සෙසු අපේක්ෂකයන්ය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමට නායකත්වය දේ. ලක්ෂ්මන් නිපුණආරච්චිද, සමන්මලී ගුණසිංහ, හර්ෂණ නානායක්කාර, සුසන්ත දොඩාවත්ත, චරිත් ගල්හේන, අසිත නිරෝෂන, විමල් කැටිපෙආරච්චි, සුනිල් වටගල, දේවානන්ද සූරවීර, නිරූපා සේරසිංහ, කේ. දිනේෂ් කුමාර්, එරංග ගුණසේකර, රන්ජන් ජයලාල්, චන්දන සූරියආරච්චි, සුරේෂ් කරුණාතිලක, රොෂාන් නානායක්කාර, ජනක අදිකාරී, හේමන්ත කුමාර, මොහොමඩ් නිෂාම්ඩීන්, ධනුෂ්ක ප්‍රියදර්ශන සහ තුවාන් අයුබ් මොහොමඩ් ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ අපේක්ෂකයෝ වෙති.

කෙසේ වෙතත් මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන වඩාත් උණුසුම්ය. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක නායකයන් කොළඹින් තරග කරන බැවිනි. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන තිදෙනා අතුරින් වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂ නායකයා බවට කවුරුන් පත් වේවිද.., එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැරදා නොයන රනිල් වික්‍රමසිංහ සහ එහි නායකත්වය ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස අතරින් කවුරුන් වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනීවිද.., මෙවර මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගන්නා මැතිවරණයක් බවට පාක්ෂිකයන් විසින් තීරණය කරයිද යන ප්‍රශ්න බොහෝ දෙනා අතර මතුව ඇත.

විදේශීය බලවේගවලට එරෙහි නිතර කතා කරන දේශපාලනඥයන් තිදෙනෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹට තරග කරති. ඒ විමල් වීරවංශ, සරත් වීරසේකර සහ උයද ගම්මන්පිලය. මේ තිදෙනා අතුරින් වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගන්නේ කවුරුන් විය හැකිද.. ඔවුන්ගේ මනාප සංඛ්‍යාව රනිල්, සජිත් සහ අනුර යන තිදෙනාටත් අභියෝගයක් වේවිද යන්න පිළිබඳවද ජනතාව අවධානයකින් යුතුව බලා සිටී.

Recommended For You

About the Author: Editor