
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනාගතයේදී චීන කොමියුනිස්ට් පක්ෂය හෝ භාරතීය ජනතා පක්ෂය අයුරින් විකාශය වනු දැකීම තම අභිලාෂය වේ යයි එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
Daily FT පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් දිනෙක චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් වනු දැකීම සහ එසේ ක්‍රියා කරනු දැකීම මගේ අභිලාෂය යි. එම පක්ෂයට බලය ඇත්තේ ඊට වගකීමක් ඇති නිසයි” ඔහු ප්‍රකාශ කර තිබේ. තවද ශ්‍රී.ලං.පො.පෙ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය මෙන් ද විය හැකියයි ඔහු කියා සිටියේ ය.
තමන් ලෝකයේ බොහෝ දේශපාලන පක්ෂ අධ්‍යයනය කළ බව ද එයින් වැඩියෙන්ම ආභාෂය ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයෙන් හා භාරතීය ජනතා පක්ෂයෙන් බව රාජපක්ෂ පෙන්වා දුන්නේ ය. මේ අතර තුනෙන් දෙකේ බලය තමන්ට ලැබේද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකි බව ද ඔහු කියා සිටියේ ය.
චීන කොමියුනිස්ට් පක්ෂය එරට නීතිගත එකම පක්ෂය වේ. එය ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ චීනය ප්‍රබල ආර්ථික බලවතකු බවට පත් කර තිබේ. භාරතීය ජනතා පක්ෂය ජාතිකවාදී, හින්දුත්වවාදී පක්ෂයකි. එහි ප්‍රතිපත්ති රටේ සුළුතර ප්‍රජාවන්ට හානිකර බවට චෝදනා මතු වේ