
ස්පාඤ්ඤයේ හිටපු රජු වන පළමුවන හුවාන් කාර්ලෝස් සිය රට හැරයාමට තීරණය කර තිබෙනවා. ඊයේ මේ බව නිවේදනය කළ 82 හැවිරිදි රජු ප්‍රකාශ කළේ තමා සැමවිටම ස්පාඤ්ඤයේ සහ එහි රජ පවුලෙහි අවශ්‍යතාව පිළිබඳ සිතා ක්‍රියාකළ බවයි.
රටින් පිට පදිංචියට යාමේ තීරණය ද ස්පාඤ්ඤ ජනතාව, එහි ආයතන පද්ධතිය සහ රජු පිළිබඳ සිතා ගන්නා ලද තීරණයක් බව හුවාන් කාර්ලෝස් රජු පවසනවා.
වර්තමාන ස්පාඤ්ඤ රජු වන හුවාන් කාර්ලෝස්ගේ පුත්‍රයා වන හයවන ෆෙලීපේ සිය පියාගේ තීරණයට ගරු කරන බව කියා සිටියා.
පළමුවන හුවාන් කාර්ලෝස් රජු බලයට පැමිණියේ 1975 දී හිටපු ඒකාධිපති පාලක ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ අභාවයෙන් පසුයි. ස්පාඤ්ඤය ප්‍රජාතන්ත්‍රවාදී මාවත කරා ගෙන ඒමේදී ඔහු විශාල වැඩකොටසක් ඉටු කළා. හුවාන් කාර්ලෝස් ඉතා ජනප්‍රිය චරිතයක් ව සිටි නමුත් 2012 දී ස්පාඤ්ඤය ආර්ථික අර්බුදයකින් බැට කන අවධියේ, බොට්ස්වානාවේ සුඛෝපභෝගී නිවාඩුවක් ගත කිරීම පිළිබඳ වූ ආන්දෝලනාත්මක සිදුවීම ඔහුගේ ජනප්‍රියත්වය මොට කළා.
හුවාන් කාර්ලෝස් 2014 දී සිහසුන අතහැරියේ ඔහුගේ දියණිය වන ක්‍රිස්ටිනා කුමරියට එරෙහිව අල්ලස් චෝදනා එල්ල වෙද්දී යි. ක්‍රිස්ටිනා පසුව එම චෝදනාවලින් නිදහස් කෙරුණද, හයවන ෆෙලීපේ රජු විසින් ඇයගේ ආධිපාද තනතුර ඉවත් කළා.
මෙම වසර මුලදී, ස්විස් බලධාරීන් විසින්, හුවාන් කාර්ලෝස් රජු සෞදි අරාබියෙන් ඩොලර් මිලියන 100ක මුදලක් ලබාගත් බවට වන චෝදනාවක් පිළිබඳ පරීක්ෂණ ඇරඹුවා. මීට මාස දෙකකට පෙර ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ පිළිබඳ විභාගයක් ආරම්භ කළා. මේ අතර ෆෙලීපේ රජු විසින් පියාට රජවාසලෙන් හිමි දීමනාව කපාදැමූ අතර තමන්ට පියාගෙන් ලැබෙන උරුමය ද ප්‍රතික්ෂේප කළා.
මේ අතර, හුවාන් කාර්ලෝස් රජු රට හැරයාමේ තීරණය එරට දේශපාලනයේ කතාබහට ලක් වන්නට වුණා. ස්පාඤ්ඤ නියෝජ්‍ය අගමැති සහ පොඩේමෝස් පක්ෂ නායක පාබ්ලෝ ඉග්ලේසියාස් කියා සිටියේ චෝදනා එල්ල වූ අවස්ථාවක රටින් පිටව යාම හිටපු රජුට තරම් නොවන ක්‍රියාවක් බවයි.