
බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ එරට මධ්‍යම රහස් පරීක්ෂණ කාර්යංශය වෙත පැවරීමට තීරණය කළ බැව් එරට සොලිසිටර් ජෙනරාල්වරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියා.
සුෂාන්ත්ගේ උපන් බිම වන බිහාරයේ මහ ඇමතිවරයා මධ්‍යම රජය වෙතින් කළ ඉල්ලීමක් මෙම තීරණයට හේතු වුණා.
සුෂාන්ත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් කරන මෙන් ඔහුගේ පියා බිහාරයේ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඔහු චෝදනා කරන්නේ සුෂාන්ත්ගේ සියදිවි නසාගැනීම ඔහුගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්ති හේතුවෙන් සිදුවූ බවයි.
සුෂාන්ත් මියයාමට පෙර ඔහුගේ බැංකු ගිණුමෙන් ඉන්දීය රුපියල් මිලියන 150 ක මුදලක් වෙනත් ගිණුම්වලට මාරු කර තිබීම ද මෙම සැකයට හේතු වුණා.
මේ අතර රියා චක්‍රබෝර්ති සහ සුෂාන්ත්ගේ සමීපයින් කිහිපදෙනකුට එරෙහිව ඉන්දියාවේ ආර්ථික බුද්ධි එක්කකය පරීක්ෂණයක් පවත්වනවා.
රියා චක්‍රබෝර්ති බිහාර් පොලිසිය විසින් කරන පරීක්ෂණය මුම්බායි පොලිසියට බාර දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වීමට බිහාර් පොලිසියටත්, මුම්බායි පොලිසියටත්, මධ්‍යම රජයටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින තුනක කාලයක් ලබා දී තිබුණා. සොලිසිටර් ජෙනරාල්වරයාගේ කරුණු දැක්වීම සිවුවූයේ ඒ අනුවයි.
බිහාර් පොලිසිය සඳහන් කර තිබුණේ තම කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සඳහා මුම්බායි වෙත පැමිණි නමුත් මුම්බායි පොලිසිය තමන්ට අවශ්‍ය පරිදි සහය නුදුන් බවයි. බිහාර් මහ ඇමතිවරයා මධ්‍යම රජය වෙත පැමිණිලි කර තිබුණේ ඒ අනුවයි.
මුම්බායි පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ රසිකයන් අතරින් ද විරෝධයක් ගොඩනැගෙමින් පැවතුණා.