මතභේද මැද චීනය හා ඇමරිකාව බැලිස්ටික් මිසයිල අත්හදා බලති

චීනය සහ ඇමරිකාව පසුගිය දින කිහිපය තුළ සිදුකළ යුධ අභ්‍යාසවලදී බැලිස්ටික් මිසයිල අත්හදා බලා තිබෙනවා. චීනයේ මහජන විමුක්ති හමුදා රොකට් බලකාය (People’s Liberation Army Rocket Force) පසුගිය සඳුදා Dongfeng-16 කෙටිදුර බැලිස්ටික් මිසයිලයක් හා Dongfeng-26 මැදිදුර බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව නිවේදනය කළා.

මෙයින් Dongfeng-26 මිසයිලය සැතපුම් 2,500ක් ඈතට පහර දියහැකි පරාසයකින් යුක්තයි. එමෙන්ම එය “ගුවන් යානා ගෙනයන නෞකා නාශක” මිසයිලයක් ලෙසයි සැලකෙන්නේ. ඊට හේතුව එවන් නැව්වලට තර්ජනය කිරීමේ හැකියාව ඊට තිබීමයි.


මේ අතර ඇමරිකානුවන් ද සිය LGM-30 Minuteman III අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බැලුවා. න්‍යෂ්ටික ප්‍රහාරයකදී මෙය කොටස් තුනක් ව, ඉලක්ක තුනකට පහරදීමේ හැකියාවෙන් යුක්තයි. සන්නද්ධ නොකරන ලද මෙවන් මිසයිලයක් කැලිෆෝර්නියා වෙරළේ සිට සැතපුම් 4,200ක් ඈත මාර්ෂල් දිවයින් ප්‍රදේශයට එල්ල කෙරුණා. මිනිට්මන් මිසයිලය වසර 50ක් පැරණි අතර එය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීම වැදගත් බව ඇමරිකාව පවසනවා. විශේෂයෙන්ම තම රටට එල්ල වියහැකි න්‍යෂ්ටික තර්ජනයකට මුහුණදීමට අවශ්‍ය ආරක්ෂක පද්ධති සකසාගන්නා තෙක් මෙම මිසයිලය හොඳ තත්ත්වයේ පැවතීම වැදගත් බවයි ඔවුන් කියා සිටින්නේ.

චීනය හා ඇමරිකාව අතර මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම අතහදාබැලීම් සිදුවීම මෙහිදී වැදගත් කරුණක් ලෙස ගිණිය හැකියි

Recommended For You

About the Author: Editor