
පොලීසිය පැත්තෙන් බැලූවාම මේ දවස් වල ලැබෙන ප්‍රවෘත්ති තරමක් යහපත් සමාජයට තරමක් සුභදායකයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණ උණුසුම අස්සේම ලොක්කො දෙන්නෙක්ම ජීවිතයෙන් සමු ගත්තා. එක්කෙනෙක් “ අංගොඩ ලොක්කා ” අනෙක් කෙනා “ එස්.එෆ්. ලොක්කා ” මේ දෙදෙනාම සමාජ විරෝධී අපරාධ කරුවෝ. දෙන්නම ලොක්කො හැබැයි ලොක්කෝ වෙලා තියෙන්නේ හොදින් නෙවෙයි නරකින්.
මේ දෙන්නාම රටේ ජීවනාලිය බදු තරුණ පරපුරෙහි මොළ විකෘති කරන්න මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරුපු කාලකණ්නීන් හැටියට හැදින්වුවහොත් එය වඩාත් නිවැරදියි. අංගොඩ ලොක්කා මිය ගිය විදිහ හරියටම නිළ වශයෙන් ස්ථිර නැතත් ඉන්දියාවේ “කොයින්බතූර් ” ප්‍රදේශයේ දී විෂ ශරීර ගත වීමකින් ඔහු මිය ගිය බවයි කියවෙන්නේ. සමහර ආරංචි මාර්ග පවසනවා ඔහුගේ මිය යාමට ඔහුගේ අනියම් බිරියක් සම්බන්ධ බව. මේ සියළු කරුණු ස්ථිරව විභාග කිරීමේ බලය තියෙන්නේ ඉන්දියානු පොලීසියටයි. ශ්‍රී ලංකා පොලීසිය හැටියට අපිට කරන්න තියෙන්නේ නිල වාර්තා ලැබුණ හොත් ඒ අනුව කටයුතු කරන එකයි.
එස්.එෆ්. ලොක්කා මිය ගියේ මහ මග වෙඩි තියලා. ඔහුගේ මරණය සිදුවිය යුතුව තිබුනේ අඳුරු සිර මැදිරියක යකඩ කූරු අතරයි. එහෙත් තවත් පාපතරයෙකුගේ ක්‍රියාවක් ඔහුගේ ඉරණම වෙනස් කලා. ඒ පාපතරයන් අත්අඩංගුවට ගෙන නීතියේ හමුවට පැමිණවීමේ වගකීමත් පොලීසිය වෙත පැවරෙනවා. එය අප ඉටුකල යුතු කාර්යයක්. මේ කොයි ලොක්කාටත් අවසානයේ අත්වන ඉරණම මෙය බව මම කිහිප වතාවක්ම ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේ හෙලි කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි ගැන මුල ඉදලාම විමර්ශනය කරපු ඒවාගේම අධ්‍යනය කරපු කෙනෙක් මම. මෑත ඉතිහාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නොහොත් පාතාල කල්ලි ගැන මුලින්ම ශ්‍රී ලංකා පොලීසිය විමර්ශනය ආරම්භ කලේ 1995 වර්ෂයේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ ලෙස කටයුතු කරපු පසුව පොලිස්පති ධූරයටත් පත්වූ ටී.ඊ. ආනන්ද රාජා මහතා යටතේ. මේ කාලයේ අපි කොළඹ නගරය තුල පමණක් ක්‍රියාකාරී තත්ත්වයේ පසු වූ අපරාධ කල්ලි 17 ක් හදුනාගනු ලැබුවා. මීට අමතරව කොස්ගොඩ, මීගමුව, හික්කඩුව සහ මහනුවර නගර කේන්ද්‍ර කොට ගත් තවත් ප්‍රාදේශීය අපරාධ කල්ලි 04ක් ඒ අවස්ථාවේදී අපේ විමර්ශනයට ලක් වුනා. මේ කල්ලි නම් වශයෙන් හැදින් වුවහොත්,
Ø සොත්ති උපාලි කල්ලිය ( ගෝතමී පාර)
Ø ධම්මික චින්තක කල්ලිය (රාජගිරිය )
Ø තෙල්බාලා (ග්‍රෑන්ඩ්පාස්)
Ø කෙලාට් කණ්ඩායම (වැල්ලම්පිටිය)
Ø තඩි බාලා කල්ලිය (ලෝකුරු වීදිය)
Ø කිඹුලාඇල ගුනා කල්ලිය ( මෝදර)
Ø කළු අජිත් කණ්ඩායම (වැල්ලම්පිටිය)
Ø නාවල නිහාල් කණ්ඩායම (නාවල)
Ø නවරාජා විජයපාලන් කල්ලිය (කොච්චිකඩේ)
Ø ඕල්කොට් කල්ලිය (මැගසින් පාර)
Ø ජීබෝයි කල්ලිය ( මැගසින් පාර)
Ø අම්බිගා කල්ලිය (දෙමටගොඩ)
Ø කුඩු නූර් ප්‍රමුඛ මුස්ලිම් පාතාල කල්ලිය (මාලිගාවත්ත)
Ø සුදාකරන් කල්ලිය ( කොස්ගස් හංදිය)
Ø පොට්ට නවුෆර් කල්ලිය ( අලුත්කඩේ)
Ø සිද්ධික් කල්ලිය ( ආමර් වීදිය)
Ø කෝට්ටේ සුනිල් කල්ලිය ( පිටකෝට්ටේ)
කොළඹ නගරය තුල ක්‍රියාත්මක ඉහතින් සඳහන් කල අපරාධ කල්ලි වලට අමතරව කොස්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නඳුන් ධර්මවික්‍රම කල්ලියත්, හික්කඩුවේ මනෝජ් මෙන්ඩිස් කල්ලියත්, මීගමුවේ සහ විශේෂයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආශ්‍රීතව ක්‍රියාත්මක වූ කැප්ටන් රංජිත් සහ ටයිටස් ප්‍රමුඛ ජින් බෑන් කල්ලියත්, මහනුවර පොදු වෙළඳපොල ආශ්‍රීත ක්‍රියාත්මක වූ දෙයියන්වල සුනිල් කල්ලියත්, ප්‍රාදේශීය අපරාධ කල්ලි අතර, ප්‍රමුඛත්වයෙහිලා ගැනුනා. ඒ කාලයේ පෑලියගොඩ යුනිට් එක හැටියට මුළු ලංකාවේම ප්‍රසිද්ධ වෙලා තිබුණු පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මාගේ නායකත්වයෙන් දිවා රෑ නොබලා මේ අපරාධ කල්ලි ලුහුබැදීමේ කාර්යයේ සාර්ථකව නිරත වුනා. ඒ කාලයේ මේ කල්ලි සාමාජිකයන් සිය ගණන් අපි අත්අඩංගුවට ගත්තා. ඉතිහාසයේ කෙටි කාලයකින් මෙම කල්ලි වල ක්‍රියාකාරකම් පාලනයට නතු කර ගැනීමට අපිට හැකි වුනා. දැන් ඉන්න අපරාධකරුවන් එක්ක සංසන්දනය කරලා බලද්දී මම ඉහතින් සඳහන් කරන්නට යෙදුණු අපරාධකරුවන් සාපේක්ෂව වැඩකාරයන් හැටියට හදුන්වන්න පුළුවන්. නමුත් මම කියන්න ආපු කතාව ඒක නෙමෙයි. ඉහතින් දක්වලා තියෙන අපරාධකල්ලි 21 කට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් කිසිවෙක් අද මේ වනවිට ලංකාවේ ජීවතුන් අතර නැහැ. සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලා ඇල ගුණා, සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් කොට ගාමිණී, නඳුන් ධර්මවික්‍රම සහ උලපනේ මුදියන්සේලාගේ උදයකුමාර නොහොත් “ගලා” වගේ කිහිප දෙනෙක් විදේශ රටවලට පලාගිහිල්ලා. යාන්තමින් ජීවිතය බේරාගෙන හැංගිලා ඉන්නවා.
අනෙක් කිසිම කෙනෙකුට ස්වාභාවික මරණ අත්වෙලා නැහැ. ඔවුන් කිසිවෙක් අවුරුදු 40 ක් ජීවත් වීමේ වාසනාව ලැබිලත් නැහැ. එක්කෝ පොලීසියෙන් වෙඩි කලා මැරිලා නැතහොත් විරුද්ධ කල්ලියක් අතින් ඝාතනය වෙලා තමයි ඔවුන්ගේ දිවි සැරිය අවසන් වෙලා තියෙන්නේ. මම දන්න හැටියට 1995 වර්ෂයේ අපි හොයා ගත්තු අපරාධ කල්ලි අතර සිටි අවසාන “පාතාල සොල්දාදුවා” තමයි කනත්ත ආරච්චිගේ පියරත්න නොහොත් මෝල් පියා. කන්තලේ 99 ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ මෝල් පියා හොඳ වෙඩික්කරුවෙක්. ඉතා කපටි පුද්ගලයෙක්. මේ කපටිකම හින්දාම ඔහුට පුළුවන් වුනා තම සගයන්ට වැඩිය අවුරුදු කිහිපයක් ජීවත් වෙන්න. ඔහු අවුරුදු 39 ක් සපිරෙද්දී මීට අවුරුදු 02 කට ඉස්සෙල්ලා එනම් 2018 වර්ෂයේ දී ඇල්පිටිය ප්‍රදේශයේදී සතුරු කණ්ඩායමක් අතින් ඝාතනය වුනා. ඒක තමයි මම මුළින්ම කිව්වේ ඔය කොයි ලොක්කාගෙන් අවසානය ඉතා දුක්මුසු සහ කෙටි බව.
“අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” කියන කියමන වඩාත් අර්ථවත් කරමින් පත්තර වල මුල් පිටුවල හෙඩිම මෙන්ම, රූපවාහිණි නාලිකා වල බ්‍රේකින් නිව්ස් මවමින් ටික කාලයක් රගන ඔය ලොක්කන් සියල්ල අවසානයේ නීතියේ ආධිපත්‍ය හමුවේ අසරණ බපු කුක්කන් බවට පත්වන බව පමණක් සඳහන් කරමින් මෙම සටහන අවසන් කරනවා.
ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති