
බෙලරූස් රාජ්‍යයේ අද පැවැත්වෙන ජනාධිපතිවරණය එරට ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝට වසර විසි හයක සිය පාලන කාලය තුළ එල්ල වන ප්‍රබලම මැතිවරණ අභියෝගය බවට පත්ව තිබෙනවා.
මුලින් මෙම ජනාධිපතිවරණය ද කලින් ජනාධිපතිවරණ මෙන්ම තනි අශ්වයකුගේ තරගයක් මෙන් පෙනුණද මෑත සති කිහිපය තුළ බලාපොරොත්තු නොවූ දෙසකින් ලුකාශෙන්කෝ වෙත අභියෝගයක් එල්ල වී තිබෙනවා. ඒ 37 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියකගෙන්.
යූටියුබ් බ්ලොගර් කෙනෙකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වූ සර්හේයි ටිහනොව්ස්කි ලුකාශෙන්කෝට එරෙහිව තරග කිරීමට ඉදිරිපත් වූ අතර ඔහුව අත් අඩංගුවට ගනු ලැබුණා. එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන ස්වෙත්ලානා ටිහනොව්ස්කායා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර බලාපොරොත්තු නොවූ පරිදි ඇය වටා පිරිස් එකතු වෙමින් තිබෙනවා.
මේ අතර, මෑතක් වනතුරු රුසියාව සමග වූ සබඳතා ද පළුදු වී තිබීම ලුකාශෙන්කෝ මුහුණ දෙන තවත් අභියෝගයක්. මෑත දිනෙක බෙලරූස් රජය පෙරළීමට උත්සාහ කරන රුසියානු කුලී හේවායන් යන චෝදනා මත රුසියානුවන් 33 දෙනකු අත් අඩංගුවට ගැනීම ඉතිහාසයේ නොවිරූ දෙයක් බවට පත් වුණා.
රාජ්‍ය මාධ්‍ය, රහස් පොලිසිය යනාදී සියලු දේ සමග ලුකාශෙන්කෝ සිටින්නේ ඉතා වාසිසහගත තැනකයි. ටිහනොව්ස්කායා ජනාධිපතිවරණය ජයගැනීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව සත්‍යයක්. එහෙත් විපක්ෂ අපේක්ෂකයකුගෙන් මෙතරම් අභියෝගයක් එල්ල වීමම ලුකාශෙන්කෝ කිසි විටෙක මුහුණ නොදුන් තත්ත්වයක් වනවා.