
කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා වග උත්තරකරුවන් ලෙස නම් කරමින්, කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ බවත්,ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කිරීමට පියවර ගත් බවත්ය.ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇතැයි ද පෙත්සම්කාර කුරුණෑගල නගරාධිපතිවරයා චෝදනා කර සිටියේය.
මෙම සිද්ධින්වලින් පසුව පොලීසිය මඟින් ආරම්භ කළ විමර්ශනයෙන් පසුව තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් අගෝස්තු මස 7 වන දා ලබාගෙන ඇති වරෙන්තුව, වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතියට පටහැනි බව ද පෙත්සම්කාර නගරාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ කඩා ඉවත් කෙරනු බව සඳහන් ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. ඒ අනුව එම තත්ත්වය යටතේ පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතියට පටහැනි බව ද ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.