
පොලිසියේ එක් එක් අංශ අතර පවතින තරඟකාරීත්වය මෙන්ම සම්බන්ධීකරණයේ දුර්වලතාද නිසා සහරාන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පොලිස් පරීක්ෂක ගයාන් රත්නායක පවසනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂ සිදු කරන විශේෂ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පොලිස් පරීක්ෂකවරයා මේ බව පවසා සිටියා.
සහරාන් අත් අඩංගුවට ගැනීම සඳහා 2018 ජූලි 02 වන දින ලබා ගත් විවාත වරෙන්තුවකට අනුව 2019 පෙබරවාරි 28 වන දා සහරාන් අත් අඩංගුවට ගැනීම සඳහා නාරම්මල පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී මුහුණ දුන් අත් දැකීමක් පෙන්වා දෙමින් පොලිස් පරීක්ෂවරයා මේ බව පැවසුවා.ඔහු එහිදී පෙන්වා දුන්නේ තමන් එහි යන විට එහි සහරාන් එහි නොසිටිය ද,ඔහුගේ බිරිඳ,බිරිඳගේ මව සහ මවගේ සහෝදරියක් සිටි බවයි.බිරිඳගේ සොහොයුරා වන මොහොමදු අන්සාර්ගෙන් තමන් ප්‍රශ්න කරන අවස්ථාවේ අන්සාර්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නැමති අයෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බවත්,එම දුරකතන ඇමතුම සමඟ තමාද සම්බන්ධ වූ බවත්ය.
එහිදී ඩයස් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයා තමාට පැවසුවේ ඔවුන් සහරාන් අත් අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සහ අන්සාර් එහිදී පෞද්ගලික ඔත්තුකරුවෙක් ලෙස යොදාගෙන ඇති බවය.ඒ නිසා තමාට එතැනින් ඉවත්වෙන ලෙස ඩයස් නැමති උප පොලිස් පරීක්ෂකවරයා දැන් වූ බවද ගයාන් රත්නායක පැහැදිළි කළේය.
ඒ තත්ත්වය නිසා තමාට උසස් නිලධාරී උපදෙස් ලබාගෙන එතැනින් ඉවත්වීමට සිදු වූ බව පැවසූ ගයාන් රත්නායක පොලිස් පරීක්ෂකවරයා, එසේ නොවුණේනම් තමන්ට අන්සාර්ව ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන සහරාන්ව අත් අඩංගුවට ගැනීමට තිබුණු බව පෙන්වා දුන්නා.