ක්‍රීඩා ඇමතිකම පිට්ටනිය දන්න නාමල්ට

ජවසම්පන්න පරපුරක් යන තේමාව පෙරට ගෙන යාමේ නියමුකම හෙවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්‍රීඩා අමාත්‍ය ධූරය නාමල් රාජපක්ෂට හිමි වි ඇත.ඔහු ක්‍රීඩකයෙකි.ඒ නිසා ක්‍රීඩක ආකල්ප පිළිබඳ ප්‍රායෝගික දැණුමක් ඇතුවාට සැක නැත.එසේම තරුනය.ඒ නිසාම ක්‍රීඩාව තුල තිබෙන ක්‍රියාශීලී වේගයෙන්ම තීන්දු තීරණ ගන්නට නාමල් ට ජවය ඇත.ජව සම්පන්න පරපුරක් හදන්න යන වැඩේදී ජවය තියෙන සහ ගාය තියෙන එකෙක් ක්‍රීඩා ඇමති වීම වැදගත්ය.


මේ වන විටත් ක්‍රීඩා සංගම් බලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ද නාමල් රාජපක්ෂ බැලුනයක් මෙන් පුම්බන්නට පටන්ගෙන ඇතුවාට සැක නැත.සමහර විට බුලත් හුරුළු දී තමන්ගේ මව පියා වයසේ අය ද දෛන නමා වැද වැටෙන්නට පටන්ගෙන තිබෙන්නට හැකියාව බොහෝමය.නමුත් තමන්ට පැවරී ඇති විෂය පථයට ඒ රැඟුම්,ගැයුම්වලින් දේ එකතු කර ගන්නට යාමට පෙර තමා ඉදිරියේ ඇති ඉදිරි දැක්ම සැකසීමට ඉරක්වත් නැති කොළයක් බඳු හිස් තැනක් කරගෙන වැඩ ආරම්භ කිරීම වටින්නේය.
පළමු කොට ඔබ අමාත්‍යංශයේ ක්‍රීඩාව විෂය කොට රාජකාරි කරන කන්ඩායම් එම ආයතනයේ කෙතරම් කාලයක් සේවය කර තිබෙන්නේද යන්න අවධානයට ලක් කිරීම වටින්නේය.පත්වීම ලද පළමු දිනයේ සිට ඒ බොහෝ දෙනා එහි සේවය කරන්නෝ වෙති.ක්‍රීඩාව මේ තත්ත්වයේ තිබෙන්නට ඔවුන් සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධය.ඇතැමෙක් නිහඬව සිටීමෙන්ද මේ ඉරණමට දායක වී ඇත.


මේ තත්ත්වයට හේතු කවරේද?
රාජ්‍ය සහ පළාත් සේ විෂය පථය බෙදී පවතින නිසා පළාත් සේවයේ දක්ෂයන්ට ජාතික මට්ටමේ වැඩ සැළසුම්වලදී ඊට දායක වන්නට ඉඩක් නැත.මේ තත්ත්වය වෙනස් කර ක්‍රීඩා විෂයට අදාළ තනතුරුවල බෙදීමක් නොවන සේ ඕනෑම තැනෙක කෙනෙකු ඕනෑම තැනකට සේවයේ යෙදවීමට හැකි සේ ක්‍රීඩා පනත වෙනස් කළ යුතුය.ක්‍රීඩකයන් අතර තරඟකාරීත්වය ඇති කරන්නට ඒ ඒ විෂයන් භාරව සිටින අයට තරඟකාරී ලෙස මහන්සි වෙන්නට අවශ්‍යයතාවයක් නැත.ඔවුන්ගේ තනතුරුවලට තරඟයක් ඇති කරන්නට පදනමක් නැත.දක්ෂ හො අදක්ෂ වීම බල නොපාන අතර ක්‍රියා කළාපය කෙසේ වුව ද සිය තනතුර සුරක්ෂිතය.වැඩිම වුණොත් විශාල අකාර්යක්ෂමතාවයක් පෙන්වන්නේනම් එකම ශාඛාවේ පුටුවක් හෝ විෂය ලිපි ගොනුවක් මාරු විමෙන් ඔබ්බට දෙයක් ඔවුන්ට කළ නොහැකිය.
උදාහරණයකට කිසිම හේතුවකින් පළාත් සභාවක සිටින එම තනතුරේම සේවය කරන අයෙක්ගෙන් ඒ නුසුදුසුකම වසා දැමීමේ තීරණයක් ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල්ට හෝ රජයට හැකියාව නැත.
මහජන සේවකයින් ලෙස පොළවේ පය ගසා සිටින පිරිසක් ඒ ඒ දිස්ත්‍රික් හෝ අඩුම තරමේ පළාතක් අධික්ෂණය කරන්නට,අවශ්‍යයතා හඳුනා ගන්නට සහයට තබා ගැනීම වැදගත්ය.මේ තත්ත්වය සඳහා නාමල් රාජපක්ෂ ජීවත්වෙන දකුණු පළාතේම වීරසුමන වැනි මංත්‍රීවරයෙක් ගත හැකිය.ඔහු පොළවෙ ක්‍රීඩා ඇමතිකම කළ අයෙක්ය.
ශාරීරික අභ්‍යාස කරන්නට නිතර ක්‍රීඩා අමාත්‍යංශයට ආ ගිය සහ ජාතික කණ්ඩායමක නායකත්වය දැරූ ඔබ නොදුටු බොහෝ දේ ක්‍රීඩා අමාත්‍යංශයේ තිබෙන බව සති දෙකක ඉසිඹුවක් ගෙන මෙහි ක්‍රියාත්මකවීම් නිරීක්ෂනය කරන්නේනම් ඔබට පැහැදිළිව දැක ගන්නට ලැබෙනු ඇත.එවිට තමන් ක්‍රීඩකයෙක් ලෙස සහ නායකයෙක් ලෙස අසාර්තක වන්නට මෙන්ම රටේ ක්‍රිඩාව අසමත් විෂයක්ව පැවතීම ගැන වගකිව යුතු අය කවුරුන්ද යන්නද ඔබට අවබෝධ කර ගන්නට අවස්ථාව නිසැක වශයෙන්ම හිමි වෙනවා ඇත.


ඉතිහාසයේ සිට ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් වන හිත නොහොදකම පව්තවා ගෙන යන්නට සමහර විට මේ මොහොත වන විටත් අමාත්‍යංශයේ නිලධාරීන් විෂ පෙවීම අරඹා තිබෙන්නට ඉඩ ඇත.නමුත් ක්‍රීඩාව යන විෂය තුළ අමාත්‍යංශය සහ ඔලිම්පික් කමිටුව තිබෙන්නේ ස්ථාන දෙකකය.ආයතන දේකේම ස්වාධිනත්වය රැකෙන පරිදි එකඟතාවයක් ගොඩ නඟා ගන්නට කිසිවෙක් පොහොසත්ව වැඩ කර නැත.විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ට අවශ්‍යය වන්නේ ජාතික ඔලිමිපික් කමිටුවේ ස්වාධීනත්වය බිද,එය තමන්ගේ යටතේ පවතින ආයතනයක් කර ගැනීමටය.පෞද්ගලික අංශයේ ආයතනයක ස්වරූපය සහ එහි පරිපාලන රටාව සියතට ගැනිමට වඩා ක්‍රීඩා අමාත්‍යංශය එම රටාවට සිය ආයතනික සැළැස්ම සකසා ගන්නේනම් මීට වඩා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවිම අපහසු නැත.
ඒ සඳහා ඔලිමිපික් කමිටුවේ ස්වාධීනත්වයට කැළලක් නොවන පරිදි එහි තියෙන සාරය ලාංකේය ක්‍රීඩාව වෙත උරා ගැනීමේ මිත්‍රශීලී වැඩ පිළිවෙලකට නාමල් රාජපක්ෂ පිවිසිය යුතුව ඇත.පොදු රාජය මන්ඩල ක්‍රීඩා උළෙලක් ලංකාවට රැගෙන ඒමට උත්සාහ කර තමන් ද පොව්වන සේ මඩ සහ ඇතැමුන්ගේ ජඩ ක්‍රියා නිසා යම් තරමකට කළු වූ නාමල්ට ඒ අත්දැකීමම ඔලිම්පික් කමිටුව වෙත සහයෝගත්වයේ දෑත් දිගු කරන්නට හේතුවක් සකසනු ඇත.
රටක් ක්‍රීඩා අමාත්‍යංශයක් ඉදිරිපිට එක් ක්‍රීඩාවකට උචිත ක්‍රීඩාංගණයක් මහත් වියදමක් දරා නඩත්තු කරන්නට යාම අනුචිත බව ක්‍රීඩා ඇමති පුටුවේ ඉද ගැනීමෙන් පසුව හෝ නාමල් තේරුම් ගන්නේනම් යහපත්ය.බහුකාර්ය ක්‍රීඩා පිටියක් විදිහට එය ප්‍රයෝජනයට ගැනිමේදී ඒ වටා සින්තටික් ධාවන පථයක් යෙදෙන්නේනම් බොහෝ ක්‍රීඩාවලට පදනම වෙන මලල ක්‍රීඩාවට ඔබින ජාතික තලයේ ඉඩක්ද එයින් උකහා ගන්නට ලැබෙනු ඇත.ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේනම් විශාල රථ ගාලේ ඉඩෙන් යම් ප්‍රයෝජනයක් ගෙන පිහිණුම් තටාකයකටත් යා හැකිය.ක්‍රීඩාව කළමණාකරනය ජාතික ආයතනය අවට ක්‍රීඩාශීලී පෙණුමක් ලබා ගන්නට ඒවා යහපත් යෝජනා ලෙස ඔබට දැනෙන්නේනම් අපූරුය.

එකක් ඔබ දනී.ඒ ක්‍රිඩාවය.ජාතික කන්ඩායමක නායකයෙක් වීම පහසු නැත.රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි සමයේද ඔබ අවුරුදු 19 න් පහළ රගර් ජාතික කණ්ඩායමට නායකත්වය දුන්නේය.ඒ හැකියාව රබර් බෝලයක් බඳු නිසාය.ඉහළ ඒම වළක්වන්නට නොහැකිය.
ඔබ දේශපානය කරන්නේද නායක සිහිනය පෙරදැරිවය.එය එසේ නොවන බව කියන්නේනම් බොරුවක්ය.සරල සිල්ලර විලාසිතාවක් පෙන්නීමක්ය.මේ ඇමතිකම ඇත්තටම ඒ අවශ්‍යයතාවයට ආභරණයක්ය.ජවසම්පන්න පරපුරක් නිර්මාණය කළ රටක නායකයෙක්ට වැඩ කිරිම අපහසු නැත.ලෝකයේ සිව් අතින් එකෙක්,දෙන්නෙක් හෝ පිරිසක් ගැන අපූරු කතා ලියැවෙන කෙළිබිමක් සැකසෙන්නේනම් ඒ ඔබට ජාතික නායකත්වය සම්බන්ධයෙන් ලැබෙන ආශිර්වාදයක්ය.ලෝකයට යන මිනිස්සු රටකට නිර්මාණය කරන්න පහසුම ඉඩ කඩ සහිත බිමේ ඒ සඳහා වැඩ සටහන් සැළසුම් සකසමින් මෙහෙයවීම පැවරි ඇත්තේ නාමල්ටය.පුළුවන්නම් මේ ට්‍රයි එක තියලා බලන්න.එය රගර් තරඟයකට වඩා වෙනස් හැඟීමක් වනු ඇත.රටක්ම ඔබට හිස නමනු ඇත.පිට්ටනිය දැක්කාට එහි වැඩ දැම්මාට,පිට්ටනියෙන් පිටත තියෙන වැඩ ඒ පිට්ටන්වල වෙහෙසෙන මිනිසුන් අලංකාර කරන කැටයම් ශිල්පීන් නොවුණහොත් ක්‍රීඩාව පවතින තත්ත්වයේම පුංචි පුංචි ලියවැල් තැනින් තැන කැපුණු හිස් කොටයක් පමණක් ලෙසම තිබෙනු ඇත.


අපි කොන්දේසි වරහිතව හරි දේ ට හරි කියන්නෙමු.වැරදි දේට ද ඒ ලෙසම විරුද්ධ වෙන්නෙමු.වැඩ පටන් ගන්න කළින් මදක් ඉසිඹුලන්න.අලුත් අදහස්වලට ඇහුකං දෙන්න.පිට්ටනියෙ හැඩ නොදැණුන කැත දකින්න.ඊට පස්සෙ පටන් ගන්න.

Recommended For You

About the Author: Editor