ලෝකයේ ලාබාලම බිලියනපතිනිය වී එම ස්ථානය අහිමි වූ කයිලි

කයිලි ජෙනර් මේ අගෝස්තු 10 වනදා තම 23 වන උපන් දිනය සැමරුවා. ඇය සුප්‍රකට කර්ඩශියාන් පවුලේ සාමාජිකාවක හෙයින් කුඩා කාලයේ සිටම ප්‍රසිද්ධියට පත් වූ අයෙක්.
කෙසේ වෙතත් ෆෝර්බ්ස් සඟරාව විසින් 2019 මාර්තු මාසයේදී ඇයව තමන් විසින් ධනය ඉපැයූ පළමු බිලියනපතිනිය ලෙස හඳුන්වා දුන්නා. ඊට හේතු වූයේ ඇගේ රූපලාවණ්‍ය නිපැයුම් සමාගම වන Kylie Cosmetics හි වත්කම් ඇමරිකන් ඩොලර් මිලියන 900 ඉක්මවූ බව එම සඟරාව විසින් ගණන් බලා තිබීමයි. ඊට කයිලිගේ පුද්ගලික ආදායම් එකතු කළ විට ඇගේ වත්කම් ඩොලර් බිලියනය ඉක්මවන බවයි ෆෝර්බ්ස් සඟරාව කියා සිටියේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඇතැමුන් මෙම නිර්දේශය විවේචනය කළේ කයිලි පවුලෙන් ලැබෙන ධනය හා ප්‍රසිද්ධිය හේතුවෙන් සිය ව්‍යාපාරය දියුණු කළ බව තර්ක නගමින්. නමුත් කයිලි කියා සිටියේ වයස අවුරුදු 15 සිට ඇගේ පවුල ඇයට ආධාර උපකාර නොකළ බවක්.


කෙසේ වෙතත් එම වසරේම මැයි මාසයේදී එම සඟරාව තම ප්‍රකාශය ඉල්ලා අස් කරගත්තා. ඔවුන් පැවසුවේ Kylie Cosmetics හි ආදායම් පිළිබඳ වාර්තා අතිශයෝක්තියට නගනු ලැබ ඇති බවයි.
කයිලි ජෙනර් විවිධාකාරයෙන් ආදායම් උපයනවා. 2007 දී විකාශය ඇරඹූ Keeping up with the Kardashians රියැලිටි කතා මාලාව ඇගේ පළමු ආදායම් මාර්ගය වන්නට ඇතැයි සිතන්න පුළුවන්. එය ඇරඹෙද්දී ඇයට වයස අවුරුදු 9 ක් පමණයි. 2017 දී එහි එක් කතා මාලාවක ආදායම ඩොලර් මිලියන 30 ක් පමණ වේ යයි ගණන් බලා තිබුණා. ඉන් කයිලිටකෙතරම් මුදලක් ලැබෙන්නේද යන්න හෙළි වූයේ නැහැ.
මීට අමතරව කයිලි ජෙනර් කෙටි කලක් Life of Kylie නම් ඊට සමාන වැඩසටහනක ද රඟපෑමේ යෙදුණා.
කයිලි ජෙනර් සහ ඇගේ සොයුරිය කෙන්ඩාල් ජෙනර් 2013 වී තමන්ගේ ඇඟලුම් සමාගමක් ඇරඹුවා. එය දැන් ඇමරිකාවේ මෙන්ම විදේශයන්වල ද අලෙවියෙහි යෙදෙනවා.


Kylie Cosmetics සමාගම ඇරඹුණේ 2015 දීයි. එය පළමු දෙවසර තුළ ඩොලර් මිලියන 630 ක් වටිනා රූපලාවණ්‍ය නිපැයුම් අලෙවි කළ බව එම සමාගම පවසනවා. මතභේදය ඇතිවූයේ මෙම සමාගමේ සංඛ්‍යාලේඛන පිළිබඳයි.
මෙහි නිෂ්පාදන හා අලෙවි කටයුතු බොහොමයක් වෙනත් සමාගම් හරහා සිදු කෙරෙනවා. එමෙන්ම මූල්‍ය සහ මහජන සම්බන්ධතා කටයුතු කෙරුණේ කයිලිගේ මව ක්‍රිස් ජෙනර් යටතේයි.
2019 නොවැම්බරයේදී කයිලි සිය සමාගමේ වැඩි කොටස් අයිතිය Coty Inc. සමාගමට විකුණුවේ ඩොලර් මිලියන 600 කටයි. එහිදී ඇය සිය සමාගමට ඩොලර් බිලියන 1.2 ක වටිනාකමක් ඇස්තමේන්තු කර තිබුණා. කෙසේ වෙතත් කයිලි එම සමාගම හා දිගටම සම්බන්ධ වී සිටිනවා. යම් දිනෙක සිය වියණිය ස්ටෝර්මි වෙත තම කොටස් ලබාදීමට ඇගේ අදහසක් ඇතැයි කයිලි වරක් කියා සිටියා.
Kylie Cosmetics හි ප්‍රචාරණයෙන් වැඩි කොටසක් කයිලි විසින් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සිදු කරනවා. එමෙන්ම ඇය වෙනත් සන්නාමයන් ද ඒ හරහා ප්‍රවර්ධනය කරන අතර ඊට ඇය වෙත එම ආයතන විසින් ගෙවීම් කරනු ලබනවා. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන පෝස්ටුවක වෙළෙඳ වටිනාකම ඩොලර් මිලියනයක් වේ යයි 2018 දී D’Marie Analytics සමාගම විසින් ගණන් බලා තිබුණා.
කයිලි 2015 සිට වසර කිහිපයක් තමන්ගේම ඇප් එකක් මගින් ද මුදල් ඉපයූවා. නමුත් ඇය දැන් එය නවතා දමා තිබෙනවා.
කයිලි ජෙනර් 2017 සිට 2019 තෙක් ට්‍රැවිස් ස්කොට් නම් රැප් ගායකයා සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අතර 2018 පෙබරවාරි 1 වනදා ඇයගේ දියණිය ස්ටෝර්මි වෙබ්ස්ටර් උපත ලැබුවා.

Recommended For You

About the Author: Editor