බෙලරූස් ජනාධිපතිවරණය නිත්‍යනුකූල බව ලුකාශෙන්කෝ අවධාරණය කරයි

බෙලරූස් හි පසුගිය 9 වනදා පවත්වන ලද ජනාධිපතිවරණය නිත්‍යනුකූල බව එරට ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ මින්ස්ක් අගනුවර පැවති රැළියකදී.
සතියක් තිස්සේ පැවති උද්ඝෝෂණවලට පිළිතුරක් ලෙස මෙම රැළිය පවත්වනු ලැබුණා.
ලුකාශෙන්කෝ කියා සිටියේ තමන් ජනාධිපතිවරණයේ දී සියයට 80ක ඡන්ද ලබාගත් බවයි. එවැනි විශාල ජයග්‍රහණයක් ඡන්ද දූෂණයක් මගින් වාර්තා විය නොහැකි යයි ඔහු අවධාරණය කළා.


ඇතැම් අසල්වැසි රටවල් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිනොගෙන නව ජනාධිපතිවරණයක් පවත්වන ලෙස කියා සිටියද, එසේ කළහොත් බෙලරූස් රාජ්‍යය කඩා වැටෙන බව ලුකාශෙන්කෝ පවසනවා. ඔහු පැවසුවේ විරුද්ධ පක්ෂය ද මෙහෙයවනු ලබන්නේ විදෙස් බලවේග විසින් බවයි.
නේටෝ රටවල හමුදා සිය දේශසීමාව අසළ යුධ අභ්‍යාසවල යෙදෙන බව ද ඔහු කියා සිටිනවා.
අගෝස්තු 9 වනදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විපක්ෂය ප්‍රතික්ෂේප කරනවා. එහෙයින් එදින පටන්ම බෙලරූස් හි උද්ඝෝෂණ පවතිනවා. මේ වනවිට උද්ඝෝෂකයන් දෙදෙනකු මියගොස් තිබෙනවා. එමෙන්ම උද්ඝෝෂකයන් 200ක් හා පොලිසියේ 103 ක් ගැටුම්වලින් තුවාල ලබා තිබෙනවා. පොලිසිය විසින් 7,000 ක් පමණ දෙනා අත් අඩංගුවට ගෙන තිබෙන බව ද වාර්තා වනවා.

Recommended For You

About the Author: Editor