
දකුණුදිග ඉරාකයේදී ඇමරිකන් කඳවුරක් වෙත සැපයුම් රැගෙන යන රථ කිහිපයක් නැවැත්වූ නාඳුනන පිරිසක් ඒවායේ රියැදුරන් බිමට බස්වා, ඒවාට ගිනි තබා, පළාගොස් තිබෙනවා. දකුණුදිග ඉරාකයේ බස්රා නුවර සිට මෙම රථ ගමන් අරඹා තිබුණා.
දිවානියා හා අස්-සමාවාහ් ප්‍රදේශ අතරදී මෙම ප්‍රහාරය එල්ල වුණා. මෙම රථවල රියැදුරන් සියල්ලන්ම ඉරාක ජාතිකයන් වූ බවයි එරටින් ලැබෙන වාර්තා කියා සිටියේ. මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාරයක් එල්ල වී හරියටම සතියකට පසුයි. එම රොකට් ප්‍රහාරය වැළැක්වීමට ඇමරිකානු පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමත් වුණා.
මෙම ප්‍රහාර එල්ල වන්නේ ඉරාකයේ ඇමරිකන් හමුදා අඩු කරගෙන යන පසුබිමකයි. මෙම වසරේ පළමු මාස හයේදී ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා කොටසක් අඩුකළ බව එරට මෑතකදී නිවේදනය කළා.
චාමර සුමනපාල