හගියා සෝෆියා මතභේදය ගැන පුටින් තුර්කියෙන් කරුණු විමසයි

තුර්කියේ ඉස්තාන්බුල් හි සුඔරකට හගියා සෝෆියා කෞතුකාගාරය නැවත මුස්ලිම් පල්ලියක් ලෙස භාවිතා කිරීමට තුර්කිය විසින් ගන්නා ලද තීරණය පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්ඩොවාන්ගෙන් විමසා සිටියා.ඊයේ (ජූලි 13) රුසියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ ජනාධිපතිවරුන් අතර වූ දුරකථන සංවාදයකදී මෙම කරුණ මතු කෙරුණ බවයි.

හගියා සෝෆියා හි ක්‍රිස්තියානින්ට වැදගත් ස්මාරක ආරක්ෂා කරන බවත් අවශ්‍ය ඕනෑම අයකුට එහි ඓතිහාසික වස්තූන් දැකගැනීමේ ඉඩකඩ පවතින බවත් අර්ඩොවාන් දන්වා සිටියා.බයිසන්ටයින් අධිරාජ්‍ය සමයෙහි කොන්ස්තන්තිනෝපලයේ ප්‍රධාන දේවස්ථානය වූ මෙහි වැඩ අවසන් වූයේ ක්‍රි.ව. 537 දී ජස්ටීනියන් අධිරාජ්‍යයාගේ පාලන සමයේයි. කොන්ස්තන්තිනෝපලය 1453 දී ඔටෝමන් තුර්කින් අතට පත්වූ පසු එය මුස්ලිම් පල්ලියක් ලෙස භාවිතා කෙරුණා.

1930 දශකයේදී මුස්තාෆා කැමල් විසින් එය ආගමික කටයුතුවලින් ඉවත් කර කෞතුකාගාරයක් බවට පත් කළා. එළඹෙන ජූලි 24 වනදා සිට එය යළි මුස්ලිම් පල්ලියක් ලෙස භාවිතා කෙරෙනු ඇති.අර්ඩොවාන් තම ජනප්‍රියත්වය වර්ධනය කරගැනීමට මෙම පියවර ගන්නා බවක් සැලකෙනවා. කෙසේ වෙතත් රුසියානු ඕර්තඩොක්ස් පල්ලිය මෙම තීරණය කෙරේ දැඩි විරෝධයක් දක්වා තිබුණා. පුටින්ගේ කරුණු විමසීමට හේතු වූයේ එයයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor