
ඇමරිකානු හමුදා සාමාජිකයන්ගෙන් ජපානයේ ඔකිනාවා හි සාමාන්‍ය වැසියන්ට කෝවිඩ්-19 වෛරසය බෝවී ඇතිදැයි බරපතල සැකයක් මතු වී තිබෙනවා.ජූලි 13 වනදා ඔකිනාවා හි ෆුතෙනාමා හි ඇමරිකන් මැරීන් ගුවන් කඳවුරෙහි නව කෝවිඩ්-19 ආසාදිතයන් 32ක් සොයා ගැනුණා.
ඒ සමග ඔකිනාවා පළාතේ ඇමරිකන් කඳවුරු තුලින් හමුවූ කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගියා.ඔකිනාවා වැසියන් බිය පළ කරන්නේ ඇමරිකන් සෙබළුන් වෙතින් තමන්ට ද මෙම වෛරසය ආසාදනය වී තිබිය හැකිය යන්නයි.විශේෂයෙන්ම ජූලි 4 වනදා ඇමරිකානු නිදහස් දිනයේදී ඔකිනාවා හි ඇමරිකන් සෙබළු ආපනශාලා, තැබෑරුම් ආදියෙහි එක්ව එම දිනය සැමරුවා. එම අවස්ථාවේ මෙම වෛරසය ආසාදනය වී සිටි පිරිස් ඉන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක කරනවා.
මේ අතර පළාතේ ආණ්ඩුකාර ඩෙනී තමාකි ඇමරිකන් තානාපති කාර්යාල නිලධාරීන් හා ජපන් රජයේ නිලධාරීන් හමුවීමට තෝකියෝව කරා පිටත් වුණා. ඔහුගේ අරමුණ වූයේ තවත් ඇමරිකන් හමුදා සාමාජිකයන් ඔකිනාවා වෙත එවීම තාවකාලිකව නවත්වන ලෙස ඉල්ලා සිටීමයි.දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසුව, එනම් 1945 සිට, ජපානයේ ඔකිනාවා හි ඇමරිකන් හමුදා රඳවනු ලැබ තිබෙනවා.
චාමර සුමනපාල