ගූගල් ඉන්දියාවේ ඩොලර් බිලියන 10ක් ආයෝජනයට සැරසෙයි

ගූගල් සමාගම, වඩාත් නිවැරදිව කිවහොත් එහි මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet) සමාගම, ඉන්දියාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කිරීමට සැරසෙනවා.

මෙය මෙම වසර තුළ ඉන්දියාවේ විශාල ආයෝජනයන් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කළ තුන්වන ප්‍රධාන පෙළේ සමාගමයි.මීට පෙර මැයි මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම ඉන්දියාවේ ඩොලර් බිලියන 5.7 ක ආයෝජන සිදුකිරීමේ සැලසුම් පිළිබඳ සඳහන් කළා.

ඊට පළමුව ජනවාරියේදී ඇමේසන් සමාගම ද ඩොලර් බිලියනයක ආයෝජන සිදුකිරීමේ සැලසුම් හෙළි කළා.ඇල්ෆබට් සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ඉන්දියාවේ උපන් අයකු වන සුන්දර් පිචායි මෙම නව පියවර පිළිබඳ සිය අදහස් දැක්වූවා. “මා කුඩා කාලයේ, අලුතින් එන සෑම තාක්ෂණයක් ම අපට ඉගෙනීමට හා වර්ධනය වීමට නව අවස්ථා විවර කළා. එහෙත් අපට ඒ තාක්ෂණය පැමිණෙනකල් බලා ඉන්න වුණා. දැන් ඉන්දියානුවන්ට එසේ වන්නේ නැහැ. අලුත් තාක්ෂණයන් රැසක් දැන් ඉන්දියාවේදීම උපත ලබනවා ඇති.”ගූගල් සමාගම ප්‍රධාන අංශ හතරක් කෙරේ සිය අවධානය යොමු කරනවා. එකක් නම් ඉන්දියානුවන්ට සිය මව් බසින් ම තොරතුරු දැනගැනීමේ අවස්ථා පුළුල් කිරීමයි.

ඉන්දියාවේ ව්‍යවස්ථාපිතවම පිළිගත් භාෂා 23 ක් ඇතුළුව භාෂා රැසක් තිබෙන හෙයින් මෙය සැලකිය යුතු අභියෝගයක් වනවා. දෙවැන්න නම් ඉන්දියාවට සුවිශේෂී වූ ගූගල් හා ඇල්ෆබට් නිපැයුම් තැනීමයි. තෙවැන්න ව්‍යාපාර කටයුතු ඩිජිටල්කරණයට හවුල් වීමයි.

සිව් වැන්න නම් සෞඛ්‍යය, අධ්‍යාපනය හා කෘෂිකර්මය වැනි අංශවලින් සමාජයට සේවයක් සැලසීමයි.චීනයේ ව්‍යාපාර සිදුකිරීමට ප්‍රධාන ඇමරිකන් ටෙක් සමාගම්වලට නොහැකි හෙයින් ඉන්දියාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා. ලොව දෙවන විශාලම ජනගහනය ජීවත්වන ඉන්දියාව ඔවුන්ට දැවැන්ත වෙළෙඳපොළක් බවට අමුතුවෙන් කිවයුතු නැහැ.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor