ඇමරිකාව විදෙස් සිසුන් පිටමං කිරීමේ සැලැස්ම අත් හිටුවයි

ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන විදෙස් සිසුන්ගේ විශ්ව විද්‍යාල පාඨමාලා සියල්ල අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නේ නම් ඔවුන් රටින් පිට කිරීම සඳහා ඇමරිකාව ගන්නා ලද තීරණය හකුලාගෙන තිබෙනවා.

මෙම තීරණය අභියෝග කරමින් හාර්වර්ඩ් විශ්ව විද්‍යාලය හා මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය (MIT) නඩු මාර්ගයට අවතීර්ණ වුණා. මේ අතර ප්‍රාන්ත දහ අටක නීතිපතිවරුන් ද මධ්‍යම රජයට එරෙහිව නඩුමගට බැස තිබුණා. රජය සහ විශ්ව විද්‍යාල අතර මේ පිළිබඳ එකඟතාවක් ඇති වූ බවයි වාර්තා වන්නේ. එහෙයින් ඒ පිළිබඳ පනවන ලද නඩුකර සමථයට පත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.

ට්‍රම්ප්ගේ තීරණය අභියෝගයට ලක් කරන්නන් තර්ක කළේ මෙම නියෝගය විශ්ව විද්‍යාලවල සාමාන්‍ය පන්ති ඇරඹීම සඳහා ඔවුන් වෙත බලපෑම් කිරීමේ අරමුණින් ට්‍රම්ප් පාලනය විසින් ගන්නා ලද බවයි.කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ විශ්ව විද්‍යාල සිය පන්ති අන්තර්ජාලය හරහා සිදු කිරීමට පටන්ගෙන තිබෙනවා. ට්‍රම්ප් පාලනය කලක පටන් සාමාන්‍ය පන්ති ඇරඹීම සඳහා ඔවුන් පොළඹවා ගැනීමට උත්සාහ කරනවා.

එය වයිරසය පාලනය වූ බවට සාධකයක් ලෙස භාවිතා කිරීම ට්‍රම්ප්ගේ අරමුණ බවයි විවේචකයන් පවසන්නේ. නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෙම කරුණ සිය සාර්ථකත්වය පෙන්වන සාධකයක් ලෙස පෙන්වා දීම ඔහුගේ අපේක්ෂාව බව චෝදනා මතු වනවා.විදේශීය සිසුන් ඇමරිකාවට සැලකිය යුතු ආදායමක් ගෙනෙන පිරිසක් වනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor