
උතුරු මැසඩෝනියාව සිය රටෙහි නම වෙනස් කළ පසු පවත්වන පළමු මහමැතිවරණය අද පවත්වනවා.නව කොරෝනාවෛරසය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති කුඩා නැගෙනහිර යුරෝපීය රටක් වන උතුරු මැසඩෝනියාව පැරණි යුගෝස්ලාවියාවේ සමූහාණ්ඩුවක්ව පැවතී නිදහස ලැබුවා.
එකල මැසඩෝනියාව ලෙස නම් කරන ලද එහි න්ම පසුගිය වසරේදී උතුරු මැසඩෝනියාව ලෙස වෙනස් කෙරුණා. ඒ පිළිබඳ එරට වාද විවාද සම්පූර්ණයෙන් අවසන්ව නැහැ.මහමැතිවරණය පැවැත්වීමට හේතු වූයේ ජනවාරි මාසයේදී අගමැති සොරාන් සයේව් ඉල්ලා අස්වීමයි.
යුරෝපා සංගමය විසින් උතුරු මැසඩෝනියාව සිය එකමුතුවට බඳවා ගැනීම පිළිබඳ සාකච්ඡා ඇරඹීම සඳහා දිනයක් නියම කිරීමට අපොහොසත් වීම සයේව්ගේ ඉල්ලා අස්වීමට හේතු වුණා. මැතිවරණය පැවැත්වීමේ අරමුණින් රටේ ප්‍රධාන පක්ෂ දෙකේ සාමාජිකයන් එක්ව භාරකාර රජයක් පත් කෙරුණ අතර මාර්තුවේදී මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා.
එහෙත් කෝවිඩ්-19 හේතුවෙන් එය කල් දමන්නට සිදු වුණා.භාරකාර රජය මුලදී රට ලොක් ඩවුන් කිරීම ආදී ක්‍රමවලින් කෝවිඩ්-19 පැතිරීම පාලනය කළා. එහෙත් නැවත එම සීමාවන් ලිහිල් කළ පසු රටපුරා වසංගතය දරුණු ලෙස පැතිරගොස් තිබෙනවා. දැනට වාර්තාවන ආසාදිතයන් ගණන 8,000 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ද 380 ඉක්මවා ගොස් තිබෙනවා.
දැනට ලැබෙන සමීක්ෂණ වාර්තා අනුව සොරාන් සයේව්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ “මොසෙමේ” (අපට පුළුවන්!) සන්ධානය හෝ ප්‍රධාන විපක්ෂය වන VMRO පක්ෂය ප්‍රමුඛ “ඔබ්නෝවා” (යළි පිබිදීම) සන්ධානය හෝ ආසන 120කින් යුතු පාර්ලිමේන්තුවේ බහුතරය දිනා නොගැනීමට ඉඩ තිබෙනවා. එහෙයින් රටේ සුළුතර ජනතාවක් වන ඇල්බේනියානුවන් නියෝජනය කරන ප්‍රධාන පක්ෂය “රජුන් තනන” පක්ෂය බවට පත්වීමේ ඉඩක් තිබෙනවා.
චාමර සුමනපාල