
ජුනි 14 වන දින 34 හැවිරිදි බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සිය බන්ඩ්‍රා නිවසේදී සියදිවි නසා ගැනීම හේතුවෙන් මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඔහුගේ මරණය සිදුවී මාසයක් ගතව යාමට පෙර මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවටත් සැලසුම් සහගතව සිදුව ඇති මරණයක් බවටත් බොලිවුඩය පුරා කතා බහක් ඇති වෙන්නට විය.
මීට දින කිහිපයකට පෙර සල්මාන් ඛාන්ගේ හිටපු කළමනාකරු රේෂ්මා ෂෙට්ටි පොලිසිය විසින් සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කැඳවනු ලැබීය. බොලිවුඩයේ ඉහළ පෙළේ කීර්තිමත් කළමනාකාරිනියක වන රේෂ්මා ෂෙට්ටි පැය පහක පමණ කාලයක් බන්ඩ්‍රා පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.
කෙසේ වෙතත් ඇගේ ප්‍රකාශයේ තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණය කර නැත.බොලිවුඩයේ සම්මානනීය අධ්යක්ෂ සංජේ ලීලා බන්සාලි, චරිත තේරීම් අධ්යක්ෂ ෂානූ ෂර්මා, සුෂාන්ත් රංගනයෙන් දායක වුණු දිල් බෙචාරා චිත්‍රපටයේ සම රංගන ශිල්පී සංජනා සංගි සහ රියා චක්‍රවර්ති ඇතුළු 35 දෙනෙකුගේ ප්‍රකාශ පොලීසිය විසින් මේ වන විට වාර්තා කර තිබේ.
රේෂ්මා ෂෙට්ටි ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසුව, සල්මාන් ඛාන් ද මෙම නඩුවේදී ප්‍රශ්න කරනු ඇති බවට වාර්තා පළ විය. කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ දිවි නසා ගැනීමට අනුබල දුන් බවට බොලිවුඩ් තරු කරන් ජොහාර්, සල්මාන් ඛාන්, සංජේ ලීලා බන්සාලි, එක්ටා කපූර් සහ තවත් අයට එරෙහිව නඩු පවරා දෙන ලෙස ඉල්ලා මීට පෙර ඉන්දීය අධිනීතිඥ සුධීර් කුමාර් ඔ්ජා විසින් පෙත්සමක් ගොනු කරන ලදී.
කෙසේ වුවද එම පෙත්සම මුසෆර්පූර්හි ප්‍රධාන අධිකරණ මහේස්ත්‍රාත් මුකේෂ් කුමාර් විසින් නිෂ්ප්‍රභ කරන ලද අතර ඔහු කියා සිටියේ මෙම කාරණය අධිකරණ බල සීමාවෙන් පිටත පවතින්නක් බවයි.මේ අතර, තරමක් නිර්භීත හා කෝපාවිෂ්ට ප්‍රකාශයක් කරමින්, හිටපු ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේෂණ අංශ (RAW) නිලධාරි එන්.කේ. සූඩ් තරයේ ප්‍රකාශ කර සිටින්නේ සුෂාන්ත්ගේ මරණය කුප්‍රකට “ඩාවුඩ් ඉබ්රාහිම්ගේ කල්ලිය විසින් සිදු කරන ලද ඝාතනයක්” බවයි.