ජාතික ක්‍රීඩා උළෙල ක්‍රීඩකයන්ට බරක් වේද?

ජාතික ක්‍රීඩා උළෙල වෙනුවෙන් ග්‍රාම සේවා මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා සම්පූර්ණ කළ යුතු කඩඉම් නිසි ලෙස පසු නොකර තිබෙන තත්ත්වයක් තුළ ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ජාතික ක්‍රීඩා උළෙල පැවත්වීමට උත්සාහ දරමින් සිටින බවත්,එයින් ක්‍රීඩකයන් විශාල ශාරිරික අවදානමකට යොමු කෙරෙනු ඇති බවත් ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නිසි ශාරිික යෝග්‍යතාවයක් නොමැති වීම මෙන්ම නිසි පුහුණුවකට තබා අඩුම තරමේ ශක්තිවර්ධක සහ කායවර්ධක ව්‍යායාම්වලට ඇති ස්ථාන පවා හරියාකාරව විවෘතව නොමැති තත්ත්වයක් තුළ ජාතික ක්‍රීඩා උළෙල වැන තරඟකාරී මට්ටමේ ක්‍රීඩා උළෙලකදී ශරීරයට අනවශ්‍යය පීඩනයක් එල්ල වීමෙන් ක්‍රීඩකයන්ට හානිකර ඉරණමකට මුහුණ දීමට ඉඩ ඇතැයි ඔව්හූ පවසති.

බොහෝ ක්‍රීඩාවල ජාත්‍යන්තරයට අදාළව 2021 වසර වෙනුවෙන් තරඟ කාල සටහන් නිකුත් වී තිබෙන බව පෙන්වා දෙන ඔව්හූ,ඒ සඳහා ජාතික සංචිත මෙහෙයවා සුදුසු කාලය එළැඹි විට තේරීම් තරඟ පැවත්වීම හදිසියේ ජාතික ක්‍රීඩා උළෙලක් පැවත්වීමට වඩා පලදායි බව පෙන්වා දෙති.එසේම එළැඹෙන වසරේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මේ මොහොතේ පවත්වන හදිසි ක්‍රීඩා උළෙලක් නිසා ආබාධයක් ඇති වුවහොත් තවත් දීර්ඝ කාලයකට තරඟ වැදීමට අවස්ථාව අහිමි වී යා හැකි බවද ඔවුන්ගේ මතය වී ඇත.

මේ වන විටත් ඉදිරියට පැවත්වීමට නියමිත 2022 යොවුන් ඔලිමපික් උළෙල වැනි ලෝකයේ ඉහළම ඉසව්ද සංවිධානයට ප්‍රමානවත් කාලයක් නොමැති වීම නිසා 2026 දක්වා කල් දැමීමට ක්‍රියා කර තිබෙන බව පෙන්වා දෙන එම පිරිස්,එහෙත් ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ක්‍රීඩාව වෙනුවට මෙම ක්‍රීඩා උළෙල සංවිධානයේදී තමන්ට ලැබෙන දිමනා ආදිය ගැන කල්පනා කරමින් කෙසේ හෝ තරඟාවලිය පැවත්වීමට අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරයා සහ ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂවරයා පොළඹවා ගැනීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි.

“ඉහළ පුටු තුනම ක්‍රීඩාව දන්නෙ නැහැ.ඔවුන්ට වරදක් කියන්න බැහැ.මේ පුටුවල ඉන්න ක්‍රීඩාව දන්න අය තමයි ඒ අයව නොමඟ හරින්නෙ යනුවෙන් කරුණු පෙන්වා දෙන එම පිරිස් අමාත්‍යවරයා,ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ක්‍රීඩාව කළමණාකරනය කරමින් එය නංවාලීමට ගන්නා උත්සාහයට බාධාව වි ඇත්තේ එහි සිටින ක්‍රීඩාව ආශ්‍රිතව රැකියාවල යෙදෙන පිරිස්ම බව පෙන්වා දෙයි.

අද (ජූලි 16) වන දා ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙවර ජාතික ක්‍රීඩා උලෙල පැව්ත්වේද නොපැවත්වේද යන්න පිළිබඳව තීරණයකට එළැඹීමට නියමිතය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor