ජනමත සමීක්ෂණ අනුව ට්‍රම්ප් සියයට 37 ට බහී

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබඳ කරන ලද නවතම සමීක්ෂණයක් අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සියයට 52 ක ජනප්‍රසාදයක් දිනාගෙන ඇතැයි වාර්තා වනවා.මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගෙන ඇති ප්‍රසාදය සියයට 37ක් පමණයි.

මේ අනුව ඔහු බයිඩන්ට වඩා සියයට 15 ක් පිටුපසින් සිටිනවා.ජූලි 9 සිට 13 දක්වා පවත්වන ලද මෙම සමීක්ෂණය සඳහා ඡන්දය දීමට ලියාපදිංචි වී සිටින 1273 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබුණා. එහි දෝෂ ප්‍රතිශතය සියයට 2.8ක් වනවා.

සමීක්ෂණය පවත්වා තිබුණේ කොනෙක්ටිකට් ප්‍රාන්තයේ ක්වින්නිපියැක් සරසවිය විසින්.මෙම සමීක්ෂණයේදී ඊට ප්‍රතිචාර දැක්වූවන් අතුරින් සියයට 50ක් බයිඩන් ට්‍රම්ප්ට වඩා හොඳින් ආර්ථිකය මෙහෙයවනු ඇතැයි විශ්වාසය පළ කර තිබුණා. ආර්ථිකය මෙහෙයවීම යන කරුණ පිළිබඳ මීට පෙර කෙරුණ සෑම සමීක්ෂණයකම පෙන්නුම් කළේ ජනතාව ට්‍රම්ප් කෙරේ වැඩි විශ්වාසයක් තබා ඇති බවයි.

එහෙත් නව සමීක්ෂණ වාර්තාවෙන් ට්‍රම්ප් වෙත විශ්වාසය පළ කර ඇත්තේ සියයට 45 ක් පමණයි. පසුගිය මාසයේ මෙම සමීක්ෂණයේදී ට්‍රම්ප් වෙත ආර්ථිකය හැසිරවීම පිළිබඳ සියයට 51 ක විශ්වාසයක් පළ වූ අතර බයිඩන් වෙත පළ වූයේ සියයට 46 ක විශ්වාසයක් පමණයි.මේ අතර ට්‍රම්ප්ගේ සාර්ථකත්වය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වූ බවක් මෙම වාර්තාව පෙන්වා දෙනවා. සියයට 60 ක පිරිසක් ඔහුගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ නැති බවයි ඉන් කියැවුණේ.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor