කොරොන්ටයින් ගහෙන් වැටීම සහ ගොනා ඇනීම

මේ මොහොතේ සෑම රටකම පාහේ පුරවැසියන් තමන්ගේ රටේ අනෙකාව ජීවත් කරවීම සිය වගකීම කරගෙන කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ ඊට වෙනස් තත්ත්වයකින් නිරෝධායනයට ලක්වන අනතුරට සමීප මිනිසුන්ගේ බොටුව කඩා බී තර වෙන්නට බලන පිරිස් ගැන තොරතුරු අපමණවත් වාර්තා වේ.සිල්ලර වෙළෙන්දාගේ සිට අසීමිත ලාභයක් ලබන්නට ඇති ඉඩ සොයමින් ක්‍රියා කරන මේ පිරිස් අතරට එකතුවන සුදු කොලර් වංචාවක් බවට නිරෝධායන හෝටල් ව්‍යාපෘති හා බැදුණු කතා ඇති කරන්නේ සාධාරණ සැකයක්ය.

සාන්තුවරයන් සේ අභිෂේකයට පාත්‍ර වූ ඇතැම් ව්‍යාපාරිකයන් සිය හොටෙල් නිරෝධායනයට ලබා දෙන බවට විශාල සමාජ ආකර්ශණයක් ලබා ගත්තද පසුව එම හෝටල් මුදලට නිරෝධායන කටයුතු කරන තැන් බව හඳුනා ගැණින.

විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් රජය මැදිහත් වී ගෙන්වා ගන්නා බව පෙනෙන්නට තිබුණත් ඒ බොහෝ දෙනෙක් චාටර් ෆ්ලයිග්ට් ලෙස තමන් විසින් වෙන් කරවාගෙන පැමිණෙන ගුවන් යානාවලින් ලංකාවට පැමිණි අයය.පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක එම ගුවන් යානා වෙන් කර ගැනීමේදී එම මැදිහත්කරුගේ වගකීම දරන ගුවන් ප්‍රවේශපත් වෙනුවෙන් මැදිහත් වන ආයතනය නවාතැන් සම්බන්ධයෙන්ද ඔවුන්ට ලබා දෙන ඇස්තමේන්තුවය.

එහිදී දෙදෙනෙක් විසින් කාමරයක් හවුල් කර ගන්නේනම් එම කාමරයකට රුපියල් 7500/= ක් ගෙවිය යුතුය.තනි පුද්ගල කාමරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 12,500 කි.විලා පන්නයේ නවා තැනකට රුපියල් විසි දහසකි.මේ සියල්ල දෛනික ගෙවීම්ය.එම මිල ගණන් ඇතුළත් පහත ලියවිල්ලේ ප්‍රවාහන වියදම් ලෙස රුපියල් 10000 ක් පුද්ගලයෙක් වෙනුවෙන් යොදා ඇත්තේ මත්තල සිට වාද්දුවට ඒම සඳහාය.දස දෙනෙක් එම බස් රථයකින් පැමිණියද රුපියල් ලක්ෂයක් එම ගමන් වාරය සඳහා බස් රථයට හිමි වන්නේය.

මෙහි පීසීආර් පරීක්ෂණය සඳහා ද රුපියල් 26,400 ක මුදලක් යොදා තිබේ.

මේ ආකාරයට නිරෝධායනය සඳහා ඇතුළත් විය හැකි හෝටල් නම් කර ඇත්තේ රජයේද අවසරය ඇතිවය.සාමාන්‍යයෙන් එසේ නම් නොකරන ලද හෝටලයක නිරෝධායනය සඳහා ඇතුළත් වන්නට නොහැකිය.

මේ තත්ත්වය මත විදේශයන්හි සිට පැමිණෙන පිරිස් බොහෝ විට වෙනම වෙන් කරවා ගන්නා ලද ගුවන් යානයක ලංකාවට පැමිණෙන අතර,නිරෝධායන කටයුතු සිදු වන්නේ නියමිත හෝටලයකය.එහිදි යමෙක් පීසීආර් පරීක්ෂනයකින් කොවිඩ් 19 ආසාධිතය වූවෙක් ලෙස හඳුනා ගන්නට ලැබුණොත් අනිත් පිරිසිටද මේ නිරෝධායන කාලය දිගු වන අතර එයින් හෝටලට ලැබෙන ආදායමද විශාල වේ.මේ වටපිටාව හඳුනාගත් විට ඔබට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලංකාවට පැමිණිමට නොහැකි තත්ත්වයට මුහුණ දෙන පිරිස ඒ ඒ රටවල්වල විශාල මුදලක් ආදායම් ලෙස නොලබන අය බවට පැහැදිළි කර ගැනීම අපහසු නැත.

නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල්

රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය අනුව කොවිඩ් 19 නොවැළදෙන අයට සමහර විට වැළදෙන අයට වඩා වැඩි කාලයක්එම මධ්‍යස්ථානවල ගත කරන්නට සිදු වේ.හේතුව එම මධ්‍යස්ථානවලින් නව ආසාධිතයෙක් හඳුනාගන්නා සෑම අවස්ථාවකම රැඳී සිටින පුද්ගලයන්ගේ නිරෝධායන කාලය එතැන් සිට යළි ආරම්භ වන බැවින්ය.ඒ ආකාරයට පීසීආර් පරීක්ෂණ තුනක් පමණ සිදු කර ඒවා යහපත්ව තිබියදීත් නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිස් මේ පොදු නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටියි.

නමුත් මේ ආකාරයට ආසාධිතයන් හඳුනාගන්නා සෑම අවස්ථාවකම පාහේ මධ්‍යස්ථාන පාලකයන් නිවේදනයක් කරමින් පෞද්ගලිකව නිරෝධායනය වීමට හෝටල් වෙත යාමට කැමති පිරිස් විමසීමද,කැමති පුද්ගලයන් හෝටල් වෙත යොමු කිරීමද සිදු කරමින් ඇත.එහිදි අවසාන මොහොතේදි හෝ හෝටලයක නිරෝධායනය වීමට කැමති අතමිට ඇති අයට ලැබෙන අවස්ථාව සෙසු අයට අහිමි වන අතර ඔවුන්ට සිදු වී තිබෙන්නේ දීර්ඝ කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳෙන්නටය.මව් රටට පැමිණි පසු ද සිය පවුල් සමඟ එක්වීමට විශාල කාලයක් බලා සිටින්නට සිදුවීම ද,ඔවුන් ඉතිරි කරගත් අතමිට ඇති මුදල් වේගයෙන් ක්ෂයවීම හේතුවෙන්ද මේ පිරිස් අයත් පවුල් ඉදිරියේදී නිරෝධායන ක්‍රියාවලිය විසින් ආර්ථික වශයෙන් කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් කළ හැකි අවදානමක් දක්නට ලැබීම කණගාටුදායක තත්ත්වයකි.

මේ පිරිස් අතර බොහෝ දෙනෙක් විදේශ රටවල සිට රැකියාව අහිමිව,එම රටවලද විශාල කාලයක් ගෙවා පැමිණි අය වේ.එවැනි පිරිසකට අතමිට හිඟවීම නිසා තවත් කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවලම රැඳෙන්නට වීම ඛේදවාචකයකි.රජයේ නිරෝධායන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සහ ඒ මැදිහත්වීම සම්බන්ධයෙන් ඇගයීමක් ලැබෙන අතරම මෙවැනි කරුණු බලධාරීන් නොදැන සිදුවන්නේනම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද,විශේෂයෙන් වෙන් කරගත් ගුවන් යානා හරහා ලංකාවට පැමිණෙන අයටද රජයේ පොදු නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ඇතුළත් විය හැකි ආකාරයට අවශ්‍යය පහසුකම් සැපයීමට හැකි ආකාරය සොයා බලන ලෙසද අපි රජයට යෝජනා කරන්නෙමු.

විශේෂ වාර්තාකරුවෙක්

Recommended For You

About the Author: Editor