
කොරෝනා වසංගතයේ පැතිරීම හේතුවෙන් කුඩා දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන් අඩාළ වී ඇති බවටත්, ලොව පුරා දරුවන් විශාල සංඛ්‍යාවක් මේ නිසා සෞඛ්‍ය තර්ජනයකට ලක්ව සිටින බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස, සරම්ප වැනි රෝගවලින් දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් ඔවුන්ට නොලැබී යාමේ තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙන බැව් වාර්තා වෙයි. මෙම වසරේ මුල් මාස 4 තුළ මෙම එන්නත්කරණයන්හි වාර්තා ගත අඩු වීමක් පෙනෙන බැව් පැවසෙන අතර මෙතරම් අඩු වීමක් දක්නට ලැබුණේ වසර 30කට පමණ පසුව බවද අනාවරණය වෙයි.
එන්නත්කරණ වැඩසටහන් මේ ආකාරයෙන් අඩාළ වීමට බලපා ඇති සාධක කිහිපයක් ගැනද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබිණි. සෞඛ්‍ය සේවකයන්ට ආරක්‍ෂක ඇඳුම් කට්ටල හිඟවීම, ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සේවකයන් නොමැති වීම, සංචරණ සීමා සහ ජනතාව නිවෙස්වලින් පිටත යාමට මැළිකමක් දැක්වීම වැනි සාධක ඒ අතර වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන ලද සමීක්‍ෂණයකට සම්බන්ධ වූ රටවල් 80 ක් අතරින් තුනෙන් දෙකකම මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අඩාළ වී ඇති බව පැවසේ. මෙම තත්ත්වය නිසා දරුවන්ට ඇතිවන බලපෑම කොවිඩ් වසංගතයෙන් ඇතිවන බලපෑමට වඩා බෙහෙවින් දරුණු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රොස් ගෙබ්‍රෙයේසස් පවසා තිබිණි.
කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර පවා සරම්ප වැනි රෝග ඇතැම් කලාපවල යළි හිස ඔසවන තත්ත්වයක් මතුව තිබිණි. ඉදිරියේදී මෙම තත්ත්වයන් උත්සන්න විය හැකි බව මේ අනුව බලාපොරොත්තු විය හැකිය. දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ඉක්මනින් ජය ගත යුතුව ඇති බවත්, එක් සෞඛ්‍ය අර්බුදයක් නිසා තවත් අර්බුදයක් අමතක කර දැමීමට නොහැකි බවත් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානි හෙන්රියට් ෆෝර් ප්‍රකාශ කර තිබිණි.