ඉරානය හරහා ඉන්දියාව සහ යුරෝපය යා කෙරෙන නව වෙළෙඳ මාර්ගයක්

ඉරානය හරහා ඉන්දියාවේ මුම්බායි නගරය සමග යුරෝපයේ සාන්ත පීටර්ස්බර්ග් සහ හැම්බර්ග් නගර යා කෙරෙන වෙළෙඳ මාර්ගයක් පිළිබඳ නැවත කතාබහක් ඇතිවී තිබෙනවා.

ඉරානයේ චබහාර් නිදහස් වෙළෙඳ කලාපයේ අධ්‍යක්ස ජෙනරාල් අබ්දුල් රහීම් කෝර්දි මෑතකදී පැවසූයේ චබහාර් වරාය ඔස්සේ මෙම මාර්ගය වැටෙනු ඇති බවයි.

චබහාර් සිට කැස්පියන් මුහුදුබඩ බන්ඩාර් ඊ-අන්සාලි දක්වා ඇදෙන මෙම මාර්ගය එහි සිට කැස්පියන් මුහුද ඔස්සේ රුසියාවේ අස්ත්‍රහාන් වෙත ගොස් එතැනින් පීටර්ස්බර්ග් හා හැම්බර්ග් වෙත ඇදී යනු ඇති.

මෙම මාර්ගය විවෘත කළහොත් ඉන්දියාව හා යුරෝපය අතර වෙළෙඳ කටයුතු පුළුල් කළහැකි වන අතර ඉරාන ආර්ථිකයට ද එය වාසිදායක වනවා.

මෙවන් මාර්ගයක් සූවස් ඇළ හරහා ඇති වෙළෙඳ මාර්ගයට විකල්පයක් ලෙස මතුවන බව ඉරානය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ සිට රුසියාවට භාණ්ඩ ගෙනයාමේ කාලය මෙහිදී දින 38 ක සිට දින 14-16 ක් දක්වා අඩුකළ හැකි යයි ඉරානය පවසනවා.

එහෙත් කෝර්දි පැවසූයේ මෙම වෙළෙඳ මාර්ගයේ අරමුණ ඊජිප්තුවට අභියෝග කිරීම නොව ඉරාන ආර්ථිකයට වාසියක් ගෙන ඒම බවයි.

මේ වනවිට චබහාර් වරාය විශාල කිරීමේ කටයුතු ද අවශ්‍ය දුම්රිය මාර්ග තැනීමේ කටයුතු ද සිදුවෙමින් පවතිනවා.

මේ මාර්ගය පිළිබඳ කතාබහ අලුත් දෙයක් නොවේ. මේ පිළිබඳ මුලින්ම යෝජනා වී ඇත්තේ වසර 2000දී බවයි සඳහන් වුණේ.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor